අභ්‍යන්තරය නිරුවත් ගැහැණිය ( Story 422 ) " මහත්තායා, මම හැම වෙලේම කළේ මාව තෘප්තිමත් කරන එක. මට ඒක හොඳටම තේරුණෙ ⁣මයෙ අවුරුදු හතළිස් ගණන් වලදි.." කුඩා කඳු ගැටයක් මත වූ ඉතාම සුන්දර, උණුසුම් වූ ඇගෙ පුංචි නිවසේ සාලයේ වූ ගිනි උඳුන ඉස්සරහ වාඩි වුණ ම⁣ට ඇය ඒ කතා කියන්නට පටන් ගත්තේ රසම රසම , ඉඟුරු දාපු උණු එළකිරි වීදුරුවක් බොන්න දුන්නට පස්සෙයි. " මම හොඳ පවුලක ගෑණියෙක්. මගෙ දෙමව්පියන් උගත් මිනිස්සු. එයාලටත් වැදගත් පවුල් පසුබිමක් තිබුණා. පාසල් අධ්‍යාපනය ඉවර වෙනකම්ම මට ප්‍රේම සබන්ධතා පටන් ගන්න තහනම් කරලා තිබුණේ. විශ්ව විද්‍යාල ගමන පටන් ගත්තම උපාධිය ගන්නකම් බැහැ කිව්වා. ඉතින් අවුරුදු 25 දී තමයි මම ඉස් ඉස්සෙල්ලම කොල්ලෙක් එක්ක යාළුවුණෙ.. ඒ යාළු වුණෙත් ඌට ඇති කැමැත්තකට නෙමෙයි, මට පිරිමි ගැන තිබුණ ආශාවට, කුතුහලයට. මට ආශවක් තිබ්බා උන්ව අතගාලා බලන්න. උන්ගෙ හයිය ගොරෝසු අත් වලින් මාව අල්ලද්දි මගෙ මුළු ඇඟම හිරි වැටිලා ගියා. මට හොඳටම මතකයි ඒ පළවෙනි හාදුව. ඊයා... මට ඇත්තටම ඒක අප්පිරියා හිතුණා. කෙළ ගෑවෙද්දි. මට පළමු දවසේ වමනෙ ගියා. මට ඕනි වුණේ ඒ මිනිහගෙ අත්වලින් මගෙ මුළු ඇඟම අතගාවගන්න විතරයි. ඒ සම්බන්ධය නැවතුණා. ඌ මට බැන්නා දවසක්.. තමුසෙ කරගන්නෙ තමුාසගෙ වැඩේ විතරනෙ කියලා.. ඇත්තනෙ මහත්තයො.." එහෙම කියපු ඇය හයියෙන් හිනා වෙන්න ගත්තා. අවුරුදු හැත්තෑ තුනක් වෙලත් ඇය මොන තරම් ලස්සනට ඉන්න ගැහැණියක් ද.! " ඊටපස්සෙ මම කවදාවත්ම මට කැමැත්තෙන් ආපු පිරිමින්ට, උන් මයෙ පස්සෙන් කොච්චර ආවත් ඒ ආපු පළියට කැමති වෙන්න ගියේ නෑ. එහෙම ඉද්දි දවසක් මම දැක්කා පිරිමියෙක්ව. ඌව දැකපු වෙලාවේ ඉඳලා මට පුදුම තරම් ආශාවක් ආවා. මම උගේ පස්සෙන්ම ගියා. ඌ වෙනුවෙන් කවි , සඳැස්, නිසඳැස් ලිව්වා, සිංදු කිව්වා. නොකළ දෙයක් නැහැ. මිනිහත් මට කැමති වුණා. ඌ තමයි මාව ගෑණියෙක් කළේ. පස්සේ ඒ මිනිහත් ටික කලකින් මාව දාලා ගියා. මම ඊටපස්සෙ නොහිතපු විදියට මානසිකව වැටුණා. මොකද මම ඌට ඇබ්බැහි වෙලා හිටියෙ. මම හිතාගෙන හිටියෙ මම ඌට ආදරය කළා කියලා. ඊටපස්සෙ තමයි මට කඩවසම්ම පිරිමියෙක්ව මුණගැහුණෙ. මිනිහා හරි උද්ධච්ජයි, සැරයි, නපුරුයි. ඒත් මහාම මහා කඩවසම් මිනිහෙක්. ගෑණු ඌ ඉස්සරහ දිය වෙනවා. ඌ එක්ක මම ගියා, මට දැණුනෙ මම ඔටුනු පළන් රැජිණක් වගෙ. ඒක පුදුමාකාර හැඟීමක්. මහත්තයො පිළිගන්නවානම් පිළිගන්න, මම ඇත්තටම අර අවුරුදු එකහමාරක් තිස්සේ නොකා නොබී අඬ අඬ නැහුණෙ මොන ⁣මිනිහෙක් මත්තෙද කියලා හිතුණා. ඇත්තටම මම ආදරය කරනවා කියලා ඒ යකා එක්ක කරලා තිබ්බේ මොනවද කියලා හිතුණා.! මේ කඩවසම්, උගත්, ධනවත් මිනිහා අධික ආත්මාර්ථකාමි සත්⁣වයෙක් වුණාට ලිංගික ජීවිතය තුළ ඌ මාරම පරාර්ථකාමියි. ඒත් මිනිහට තේරුණා මම මිනිහා තරම්ම රති කෙළියෙ දි දක්ෂ නෑ කියලා, මම මහ කම්මැලි ගෑණියෙක් කියලා ඒ මිනිහත් මාව අතෑරියා." ඇය ඊටපස්සෙ එතනින් නැගිටලා ගිහින් පිටතින් සාලයට එන හුළඟ නවත්වන්න වා කවුළු වසා දැම්මා. ගිනි උඳුනෙ ගින්දර ටිකක් වැඩි කරපු ඇය නැවත හරි බරි ගැහිලා වාඩි වුණා. " මම ඒ වෙද්දි ඒකට ඇබ්බැහි වෙලා හිටියෙ, ඊටපස්සෙ මම අර තරම්ම සැප දෙන මිනිහෙක්ව හොය හොය ගියා. සමහරු මට සල්ලිත දුන්නා. ඒත් කවුරුත්ම අරූ තරම් දක්ෂ වුණේ නෑ. අවුරුදු දෙකකට පස්සෙ එක දවසක් ආපහුත් මට ඔහුව අහම්බෙන් වගෙ මුණ ගැහුණා. නමුත් එදා මටඒ මිනිහා ළඟ තිබුණ ඒ කළින් රසය දැණුනෙ නෑ. නමුත් ඒ වෙද්දි මම රති කෙළියෙ දි නොසෑහෙන්ට දියුණු ගෑණියෙක්. ඒ නිසා මිනිහට මාව ඕනි වුණා. ඒ මිනිහට මාව නැවත නැවත ඕනි වුණත් මම ගියේ නෑ. ඒකට ඌට තරහ ගිහින් දවසක් මට හොඳටම ගැහුවා. මම ඉන්න තැනටම හොයාගෙන ඇවිත් ගැහුවේ. මොකද ඒ වෙද්දි ඒ මිනිහව ප්‍රතික්ෂේප කරලා තිබුණ එකම ගෑණි මම. ඒ යකාට ඒක දරාගන්න බැරි වුණා. ඊට පස්සෙ මම හැංගිලා වගෙ ජීවත් වුණේ. ඒ තරහටයි,දුකටයි මම කළේ මම කැමති පිරිමි පස්සෙ විතරක් ගිය එක. මම කැමති පිරිමියාව දවසකට හරි මම මුණගැහෙනවා. ඊටපස්සෙ මම මගෙ තෘප්තිය උදෙසා ඌට හැම සැපමක්ම දෙනවා. ඌ මගෙ දක්ෂතා වලින් තෘප්තිමත් වෙනවා දැක්කම මම කියන්න බැරි තරම් තෘප්තිමත් වෙනවා. මට මහා ආත්ම අභිමානයක් දැනෙනවා. ඊටපස්සෙ මම ඒ මිනිහව අතාරිනවා. මම ඒකෙන් තෘප්තියක් ලැබුවා. එහෙම ආපු ජීවිතේ අවුරුදු තිස් පහ වෙද්දි මට මගෙ ජීවිතයේ මහා හිස් බවක් දැණුනා. පාළුවක් තනිකමක් දැණුනා.. එතකොට තමයි ම⁣ට දාස් ව මුණගැහුණෙ. මම බැලුවා ඔහු ළඟට ගියොත් ඒ තනිකම නැති වෙයි ද කියලා. ඒත් ඔහු මාව මුණගැහුණ පළමු දවසෙම මාව ඔහුගෙ තුරුළට අරගෙන මට නින්ද යනකම් මගේ ඔළුව අතගෑවා. ඔහු මගෙ හිස අතාගාපු පළමු විනාඩි දහයෙදි මට අහේතුකවම ඉකි ගගහ ඇඬෙන්න පටන් ගත්තා. ඒ අඬිල්ල නවත්වන්නම බැරි වුණා. මගෙ අර හිස් බව, තනිකම අතුරුදහන් වුණා. දාස් එක්ක මම මාස හයක් පුදුම සතුටකින් ජීවත් වුණා. දාස් රති කෙළියෙදි දක්ෂයෙක් නෙමෙයි. ඔහුට එහෙම වුවමනාවකුත් නෑ. ඒත් දාස් එක්ක ජීවිතයේදි මට තරඟයක් තිබුණේ නෑ. තරඟයේ වීරවරිය වෙන්න වුවමනා වුණෙත් නෑ. ඔහු එක්ක ඉද්දි මට මගෙ ඔළුව නිදහසේ පාවෙනවා වගෙ දැණුනේ. මම හැමදාම උදේට ලස්සනට පිපෙන මලක් වුණා. අද ඒ මල ලා රෝස පාටයි. හෙට ලා නිල් පාටයි. ඊයෙ තැඹිලි පාටයි. දාස් තමයි ඒ මල් උයනෙ උයන්පල්ලා වුණේ, මම සුවඳ මුසු සැහැල්ලු හුළඟක් වුණා. දාස් ඒ හුළඟ එක්ක ආදරයෙන් වෙළුණු දැවැන්ත වෘක්ෂයක් වුණා. මම හරිම නිස්කාංසුවෙන් අහසින් වැටෙන වැස්සක් වුණා. දාස් හරිම ආසාවෙන් ඒ වැස්සේ තෙමුණෙ පොඩි එකෙක් වගෙ. මම තව දවසක දී සීමා මායිම් බාධා නැතිව හරිම සද්දෙන් පෙරළිලා එන සුදු පෙණ පුරවගත් රැල්ලක් වුණා. දාස් ඒ හිතුවක්කාර රැළි ආදරයෙන් බදාගත්ත වෙරළ වුණා. ඒ සුන්දර දවස්..! මම උදෙන් නැගිටින සමහර දවස් වල දාස් මට එනසාල් තේ කෝප්පයක් අරගෙන එන්නෙ ලස්සනම ලස්සන මලක් එක්ක. අපි දෙන්නා එකතු වෙලා අලුත් රස කෑම ජාති ඉව්වා. සමහර දවස් වලට රම් බෝතලයක් හිස් වෙනකම්ම බීලා ඇති තරම් නැටුවා. සිංදු කිව්වා. පිස්සුවෙන් වගෙ ඔහේ දිව්වා.ඒත් එක දුක්බර මාසයක දී දාස් ලස්සන පොඩි කෙල්ලෙක් එක්ක විවාහ වෙලා එංගලන්තයට ගියා. ඊටපස්සෙ මට මේ මුළු ලෝකයම පෙනුනෙ කළු පාටට. හැම ගහක්ම මලක්ම විතරක් නෙමෙයි මුහුදු රැළි පවා කළුපාට වුණා. මම පිස්සෙක් වුණා. මම මට මුණගැහුණ හැම පිරිමියාම ලව්වා මගෙ හිස අතගාවගන්න බැලුවා. එවුන්ට එහෙම වුවමනාවක් තිබ්බේ නෑ. වුවමනාවකින් කරත් මට දාස්ගෙ උණුහුම දැණුනෙත් නෑ. එහෙම අවුරුද්දක් ගියාම දාස් එකපාර⁣ටම ආපහු මාව හො⁣යාගෙන ඇවිත් මට මේ ගෙදර අරන් දීලා ගියා, වගා කරගන්න වත්තකුත් එක්ක. එදා දාස් මාව ළගට අරන් ඔළුව අතගාලා, නළලට හාද්දක් දීලා ගියා ගියාමයි. ආපහුත් ආවේ නෑ. ඒත් එදා ඉඳලම මම තීරණය කරා ආපහු කිසිම මිනිහෙක්ට මාව අල්ලන්න නොදෙන්න.." ඇගෙ කතාව අහපු මට ගොඩක් දේවල් හිතට ආවා. බහුතරයක් ගෑණු හොයන්නෙම ආදරය. ඒත් උන් සමහර තැන් වලදි හිතනවා උන්ට ඕනි ⁣සෙක්ස් හෝ මුදල් විතරයි කියලා. ආදරය කියන්නෙ මොකක්ද කියන්න නම් මම දන්නෙත් නෑ. මට ඒ ගැන නිර්වචනත් නෑ. ඒත් බෝමයක් ගෑණු හොයන්නෙ රැකවරණය, සැනසීම , ගරුත්වය නෙමෙයිද.? තමන්ට අවශ්‍යය සෙක්ස් විතරයි කියලා හිතපු ගෑණිට දාස් ඔළුව අතගෑවම ඇඬුනෙ ඒක නිසා නෙමෙයිද.? ඇයම නිර්මාණය කරගත් තරඟයක හුස්මක්වත් නොගෙන හති දාගෙන දුවපු ඇයට දාස් ළඟදි දැණුනේ හැබෑම සැනසීම නොවෙද.! ලෝකයේ ඉන්න හුඟක් ගෑණු හොයන්නෙම ආදරය, කරුණාව, රැකවරණය, ගරුත්වය දෙන හොඳ පිරිමියෙක් ළඟ නවතින්න විතරමයි කියලා මට හිතුණා. පූර්ණිමා චාරුණි බණ්ඩාර.

Comments

Popular posts from this blog